Thursday, February 1, 2018

සන්නිවේදනයේ පුරෝගාමී විද්වතුන්

                                   හැරල්ඩ් ලැස්වෙල් 

Image result for harold lasswell

දේශපාලන විද්‍යා ශ්‍රාස්ත්‍ර යකු ලෙස සිටිමින් සන්නිවේදන විෂය ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය උදෙසා ඉමහත් මෙහෙයක් කළ විද්වතකු ලෙස ලැස්වෙල් හදුන්වා දිය හැකිය. ප්‍රෙස්බ්ටේරියන් පූජකවරයකුගේ පුත්‍රයකු ලෙස 1902 පෙබරවාරි 13 වන දින මෙලොව උපත ලද් ලැස්වෙල් කුඩා කල සිටම සෑම දෙයක් පිළිබඳවම  විමසිල්ලක් දැක්වූවා සේම විවිධ විෂයන් පිළිබඳ  ලියවුණු පොත පත ද කියවන්නට පුරුදු වී සිටියේය. වයස අවුරුදු 16 දී ඉතිහාසය හා ඉංග්‍රීසි විෂයන්ගෙන් ශිෂ්‍යත්වයක් දිනා ගත් ඔහු 1918 දී චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු සිවු වසරක් ශ්‍රාස්ත්‍ර හදාරා ප්‍රථම උපාධිය දේශපලන විද්‍යාවෙන් ලබා ගත් අතර 1926 දී ආචාර්යය උපාධියත් එම විශ්ව විද්‍යාලයෙන්ම ලබා ගත්තේය. ඔහුගේ උපාධි නිබන්ධනය වූයේ "propaganda techniques in the world war "යන්නය. එනම් "ලෝක සංග්‍රාම සමයේ භාවිතා කල ප්‍රචාරක විධි" යන්නය. මෙම ග්‍රන්ථය සන්නිවේදන සිද්ධාන්ත අරභයා වූ පුරෝගාමී පර්යේෂණයක් ලෙස සන්නිවේදන අධ්‍යයන ඉතිහාසයෙහි සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ලැස්වෙල් ප්‍රථම උපාධිය සේම ආචාර්ය උපාධිය ද දේශපාලන විද්‍යාව සදහා ලබා ගත්ත ද ඔහු කිසිදු විටෙක එම විෂය ක්ෂේත්‍රයට පමණක් සීමා වී කටයුතු කළේ නැත. ඔහු මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හා සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයන් පිලිබදවද අධ්‍යයනයන් සිදු කිරීමට උත්සාහ කරන ලදි. ඔහු සෘජු ලෙසම සන්නිවේදන ශ්‍රාස්ත්‍රයෙකු ලෙස කටයුතු නොකළ ද ඔහුගේ ශ්‍රාස්ත්‍රීය එළඹුම තුළ වර්තමානයෙහි සන්නිවේදනය ලෙස පිළිගැනෙන සමාජ ශ්‍රාස්ත්‍රය අභිවර්ධනයට අතිශයින් ඉවහල් වන්නාවූ ශ්‍රාස්ත්‍රීය එළඹුමක්  ඒ තුළ පවතී.ලැස්වෙල් අධ්‍යයනය කළ විෂය ක්ෂේත්‍ර ලෙස ප්‍රචාරණය, ජනමතය සකස් වීම, දේශපාලන භූමිකා හා ජනමාධ්‍ය පිළිබඳ  අන්තර්ගත විෂය විශ්ලේෂණ ආදිය පෙන්වා දිය හැකිය.
එසෙම මොහු ලන්ඩන්, ජිනීවා, පැරිස් සහ බර්ලින් හිදී ද පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල නිරත විය. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ හා කාල් මාක්ස්ගේ ලියවිලි හැදෑරූ මොහු ඒ ගැන පර්යේෂණ කටයුතු ද සිදු කරන ලදි. මනෝ විග්‍රහය පිළිබඳ පුළුල්  ලෙස පර්යේෂණ ද පැවැත්වීය.ලැස්වෙල් බොහෝ විට පවතින දේ හදාරන්නෙකුට වඩා නව දේ සොයා යන්නෙකු ලෙස කටයුතු කරන ලදි. අධි ශිෂ්‍යත්වයක් මත ඔහු බොස්ටන්, වියේනා හා බ්ර්ලින් සංචාරය කොට ආපසු චිකාගෝ විශ්ව විද්‍යාලයට පැමිනි පසු චර්යාවාදය සමඟ  මනෝ විශ්ලේෂණ න්‍යාය සම්බන්ධ කිරීමට උත්සාහ ගත් අතර නමුත් ඒ සදහා ඔහුට අවස්ථාවක් නොලැබිණි.හේතුව වූයේ සාම්ප්‍රදායික මනෝ විද්‍යාඥයින් එයට දැඩි ලෙස විරුද්ධ වීමය. එසේම දේශපාලන විද්‍යාඥයින්ගෙන් ද ඔහුට ලැබුණු ප්‍රතිචාරය යහපත් එකක් නොවේ. ඒ බව මනෝ විශ්ලෙෂණ න්‍යාය පදනම් කොට ගනිමින් දේශපාලන නායකත්වය අළලා ඔහු විසින් රචිත "world politics and personal insecurity " නැමැති ග්‍රන්ථය පිළිබඳව  "American political science review " හි ඒ පිළිබඳව  දැඩි විවේචන එල්ල වී තිබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මෙසේ මනෝ විශ්ලේෂණ න්‍යාය බදු විප්ලවීය න්‍යායික පර්යාලෝක දේශපාලන විද්‍යාවට හදුන්වා දීමට ලැස්වේල් උත්සාහ ගන්නා ලදි. මෙම නිසා මොහුගේ අධ්‍යයන තත්කාලීන දේශ්පාලන විද්‍යාව තුළ බෙහෙවින් විප්ලවකාරී ඒවා ලෙස සැලකිණ.
සන්නිවේදන අධ්‍යයන විෂයෙහි ලැස්වෙල් විසින් දක්වන ලද දායකත්වයන් අතර මූලිකත්වයක් ගන්නේ ප්‍රචාරණයයි. ඔහු විසින් කරන ලද ප්‍රචාරණය පිළිබඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණ සන්නිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ධ වුණු මූලික හා ඉතා වැදගත් අධ්‍යයනයක් ලෙස සලකනු ලබයි. ලැස්වෙල් විසින් ප්‍රචාරණය පිලිබදව පළමු වරට අවධානය යොමු කරන ලද්දේ සිය ආචාර්යය උපාධිය සදහා පර්යේෂණ සිදු කළ කාලවකවානුවේදීය. එහිදී ඔහු පළමු ලෝක යුද්ධය පැවතුණු දෙපාර්ශවය විසින්ම භාවිතා කරන ලද ප්‍රචාරණ ක්‍රමෝපාය පිළිබඳව විමර්ශනය කරන ලදි. එහිදී ඔහු ඵලදායී පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ  සිය අවධානය යොමු කරන ලදි. මේ අධ්‍යයනය ප්‍රමුඛ සංකල්ප පිලිබද අර්ථ නිරූපන, ප්‍රචාරණ ක්‍රමෝපාය වර්ගීකරණය හා එකී ක්‍රමෝපායවල බලපෑම ආදිය පිළිබඳ සවිස්තර වාර්ථාවක් සකස් කරන ලදි. ඔහුට මෙම පර්යේෂණයේ දී අන්තර්ගත අධ්‍යයනය වැදගත් සන්නිවේදන පර්යේෂණ මෙවලමක් ලෙස සංවර්ධනය කිරීමට හැකි විය. අන්තර්ගත අධ්‍යයනය ලෙස හදුන්වන්නේ සන්නිවේදන සංදේශ අන්තර්ගතය වර්ග කොට අරමුණු කරන ලද විවිධ විචල්‍යයන් ඒ අනුව නිර්ණය කිරීමේ ගවේෂණ  මාර්ගයයි.
ලැස්වෙල් චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි කටයුතු කරන කාලයේ දී එහි ප්‍රචාරණය හා මහජන මතය පිළිබඳ පාඨමාලා ඇතුළුව පාඨමාලා ‍රැසක් ආරම්භ කරන ලදි.ඒවා ඔහු දේශපාලන විද්‍යාවට සම්බන්ධ කොට ආරම්භ කරනු ලැබුව ද සැබවින්ම එම පාඨමාලා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අදාළ ඒවා විය. නමුත් එම කාල වකවානුවෙහි එනම් 1920-30 අතර කාලයේ "සන්නිවේදනය" යන නම භාවිතා නොකරන ලදි. චිකාගෝ සරසවියෙහි වසර 17ක සේවයෙන් පසුව ඔහු ඉන් ඉවත්වී අර්ධකාලීන කථිකාචාර්යවරයකු ලෙස යේල් විශ්ව විද්‍යාලයට එක් විය. දෙවන ලෝක යුද්ධය ඇති වීමත් සමඟ ලැස්වෙල් ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයෙහි අධ්‍යයන කටයුතු සදහා වන පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදි. එය ඔහුගේ පර්යේෂණ කටයුතු පුලුල් කිරීමට හේතු විය. ප්‍රචාරණය පිලිබදව පුලුල් පර්යේෂණ ආරම්භ කරන ලද්දේ ද මෙම කාලයේදීය. ඒ සදහා ඔහුට මූල්‍ය ප්‍රතිපාදන "රොකෆෙලර් පදනම" මගින් සපයන ලදි. 1939 සැප්තැම්බර් සිට 1940 ජුනි දක්වා මාසයක් පාසා පැවැත්වුණු මෙම සන්නිවේදන සම්මන්ත්‍රණ තුළ ලැස්වෙල් ඉතා ප්‍රබල කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදි. මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වූයේ යුධ පසුබිම තුල රජයට සන්නිවේදනය කල හැකි ආකාරය පෙන්වා දීමය. එහිදී සන්නිවේදන බලපෑම පිළිබඳ ක්ෂේත්‍රය වෙත මෙම සම්මන්ත්‍රණ සාකච්ඡා වාර යොමු කරවීමට ලැස්වෙල්ට අවස්ථාව ලබිණි.මෙම සම්මන්ත්‍රණය සන්නිවේදන අධ්‍යයන සදහා සුවිශේෂී වන්නේ ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය තවදුරටත් සංවර්ධනය වන්නේ මෙහිදී වීම නිසාය.
•          කවුරුන් විසින්?
•          කා හට?
•          කවර නාලිකාවකින්?
•          කවර බලපෑමක් සදහා කියන්නෙද? යනු එම ආකෘතියයි
තවද මෙම සම්මන්ත්‍රණය තුළින් සන්නිවේදනය පිළිබඳ උනන්දුවක් ඇති විද්වතුන් ඒකරාශී කරන ලදි. එසේම මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කරන ලද කරුණු සන්නිවේදනය අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස තාර්කිකව විශද කළ කෘතියක් විය. සන්නිවේදන විෂය ක්ෂේත්‍රය ආරම්භ කිරීමෙහිලා "රොකෆෙලර් පදනම"හා ජෝන් මාර්ෂල් අතින් විශාල කාර්යයභාරයක් සිදු වූ බව සඳහන් කළ යුතුය. ජෝන් මාර්ෂල් යනු රොකෆෙලර් සම්මන්ත්‍රණය සංවිධානය කළ පුද්ගලයාය. මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට පෙර සන්නිවේදන පර්යේෂණ යන වචන පවා භාවිතයේ නොතිබුණු අතර 1939 දී එම සම්මන්ත්‍රණයට සහභාගී වන විද්වතුන් වෙත මාර්ෂල් විසින් ආරාධනා කොට යවන ලද ලිපිවල පළමු වරට "සන්නිවේදනය" යන වචනය භාවිත කර තිබූ අතර ඉන් පසුව මෙම නව විෂය සඳහා එම නම භාවිතයට ගන්නා ලදි.රොකෆෙලර් සම්මන්ත්‍රණය තුල ලැස්වෙල්ගේ ශ්‍රාස්ත්‍රීය දායකත්වය තවත් ආකාරයකට ප්‍රකට විය. ඒ සන්නිවේදනයේ කාර්යය සම්බන්ධයෙනි. ලැස්වෙල්ට අනුව සන්නිවේදන කාර්යය පහත ආකාර වේ.
1.      පරිසර ආවේක්ෂණය 
2.      පරිසරයට ප්‍රතිචාර දැක්වීම සදහා සමාජයේ කොටස් එකිනෙකට සම්බන්ධ කිරීම
3.      එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සමාජ උරුමය ගෙන යාම
දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙහි ලැස්වේල් සහ කැසේ යුද්ද වි පන කාර්යාලයෙහි උපදේශක වරුන් ලෙස කටයුතු කරන ලදි. ‍රැල්ෆ් කැසේ ලැස්වෙල්ගේ ප්‍රචාරණය පිළිබඳ අධ්‍යයන පෘථූල කිරීමෙහිලා කැපවී ක්‍රියා කළ අයෙකි. එම නිසාම ඔවුන් දෙදෙනාටම මෙසේ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම නිසා ප්‍රචාරණ විශ්ලේෂණය ප්‍රවර්ධනය විය.එම ප්‍රවර්ධනය සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ විල්බර් ශ්‍රාම්ගේ දෘෂ්ටිය සංවර්ධනයට ද හේතු විය.
ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි යුද්ධය, විප්ලවය හා සාමය පිලිබද පුවර් ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘතියක් ද මෙහෙයවූ අතර එම ව්‍යාපෘතියට ආණ්ඩු සහ දේශපාලන නායකයන් පිළිබඳ අධ්‍යයන, ආයතනික අධ්‍යයන හා පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය ආදිය අන්තර්ගත විය. මෙහිදී පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය සෘජු ලෙසම සන්නිවේදනය කේන්ද්‍රගතව සිදු කරන ලද්දකි. සන්නිවේදන අධ්‍යයනයෙහි පීතෘවරයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන විල්බර් ශ්‍රාම් ද ලැස්වෙල් හා සමකාලීනයෙකි. ලැස්වෙල් හා ශ්‍රාම් 1954-55 අතර කාලයේ පළමු වරට දෙදෙනා මුන ගැසුණු අතර එම අවස්ථාව රොජර්ස් මෙසේ දක්වා ඇත
" ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි චර්යාවේද අධ්‍යයනය පිළිබඳ මධ්‍යස්ථානයෙහි ශ්‍රාස්ත්‍රධාරියකුව සිටි වකවානුවෙහි එක්තරා දිනයකදී ශ්‍රාම් ලැස්වෙල් හමුවීමට පැමිණියේය. ඒ ශ්‍රාම් සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පත්වී ආ අලුතය, ශ්‍රාම්  ලැස්වේල් සොයා ආවේ. ලැස්වේල් සමඟ දත්ත විශ්ලේෂණ ගැටලුවක් සාකච්ඡා කිරීමේ අරමුණනි. පස්වරු 02.00 කට පමණ ලැස්වෙල්ගේ අධ්‍යයනාගාරයට පැමිණි ශ්‍රාම්ට ඔහුගේ දත්ත මෙහෙයවාලිය හැකි වෙසෙසින් සංවර්ධිත විශ්ලේෂණ මාර්ගයක් ලැස්වේල් පෙන්වා දුන්නේය. අදාළ දත්ත අර්ථ නිරූපනය කිරීමට අදාළව ඔවුන් දෙදෙනා අතර ඇරඹුණු  සාකච්ඡාව නිමවන විට වේලාව රාත්‍රී 08.00 ලෙස සටහන්ව ශාස්ත්‍රීය ගැටලු හා පොර බැදීමේදී ලැස්වෙල්ගේ මනස ක්‍රියා කළ ආකාරය ද එයින් හෙළි වෙයි." ලෝක යුධ සමයේදී ලැස්වෙල් විසින් කරන ලද සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට අවශ්‍යය අඩිතාලමක් සේ සැලකිය හැකිය.අද වන විට ප්‍රචාරණය යන න්‍යාය වෙසෙසින් එය මුල් විග්‍රහය කාලීන අගයෙන් අඩු වූවක් බව විද්වතුන් තර්ක කරන නමුත් එය එම න්‍යායෙහි මූලික අවස්ථාවක් බව සියලු දෙනා පිළිගත යුතුව ඇත. එය අද වන විට සංවර්ධනාත්මකව ප්‍රබල ලෙස භාවිත වීමෙන් එහි ඇති අගය මනාව සුවිශද වේ.
සන්නිවේදන අධ්‍යයනය විධිමත් විෂය පථයක් ඔස්සේ නව චින්තන ධාරාවක් ඒ වෙතට යොමු කොට එය සංවර්ධන මාවතක් කරා යොමු කිරීමෙහිලා ලැස්වේල් විසින් ස්වකීය පර්යේෂණ හා අධ්‍යයන මඟින් සන්නිවේදන අධ්‍යයන විෂයෙහි දක්වන ලද මෙහෙය අති විශාල වුවක්  බව අවසාන වශයෙන් සඳහන් කළ හැකිය.

1 comment:

“Understanding Media”

“Understanding Media” නැමැති ග්‍රන්ථය ජනසන්නිවේදන විෂය හදාරණ පාසල් ශිෂ්‍යන්ට වගේම ජනසන්නිවේදන විෂයෙන් උසස් අධ්‍යාපනයේ නිරත වන සියල්ලන...

දිනපතා විශේෂාංග