Wednesday, February 21, 2018

“Understanding Media”



“Understanding Media” නැමැති ග්‍රන්ථය ජනසන්නිවේදන විෂය හදාරණ පාසල් ශිෂ්‍යන්ට වගේම ජනසන්නිවේදන විෂයෙන් උසස් අධ්‍යාපනයේ නිරත වන සියල්ලන්ටම අතිශය වැදගත් අධ්‍යාපනික වශයෙන් වැදගත් වූ ග්‍රන්ථයකි.මෙම ග්‍රන්ථය රචනා කරන ලද්දේ සන්නිවේදන විෂයේ න්‍යායාත්මක දැනුම වර්ධනයට පුරෝගාමී වූ “මාෂල් මැක්ලූහන්” විසිනි. 



Tuesday, February 20, 2018

සන්නිවේදනයේ පුරෝගාමී චරිත

                     වෝල්ටර් ලිප්මන්
Image result for walter lippmann

වර්තමානයෙහි න්‍යායපත්‍රකරණය නමින් ප්‍රචලිත ක්‍රියාවලිය සංකල්පගත කිරීමෙහිලා අප්‍රතිහත කාර්යයභාරයක් ඉ‍ටු කළ විද්වතෙකු ලෙස වෝල්ටර් ලිප්මන් සන්නිවේදන අධ්‍යයන පිළිබඳ කතා කරන විට අමතක කළ නොහැකිය.ලිප්මන් හා ලැස්වෙල් යන දෙදෙනාම එක්ව කටයුතු කළ අතර ප්‍රචාරණය හා ජනමතය අළලා ලැස්වෙල් කරන ලද අධ්‍යයන වල දී ලිප්මන්ගෙන් ඒ සදහා විශාල දායකත්වයක් ලැබී තිබේ. හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍ර හැදෑරූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන්ම දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා ද අධ්‍යයන කටයුතු සිදු කොට එය අතර මග නවතා දමන ලදි. විශේෂයෙන්ම ඔහු ඉගැන්වීම් කටයුතු වල නියැලීමට රුචිකත්වයක් නොදක්වන ලදි. ශාස්ත්‍රාලීය පර්යේෂණ ක්‍රමවේද හෝ න්‍යායික පර්යාලෝක වලට අනුගත නොවෙමින් ක්‍රියා කළ  ඔහු නිදහස් චින්තනයකින් යුතුව කටයුතු කළ අයෙකි. ඔහු පුවත්පත් වලට ලිපි සැපයීමට දැඩි කැමත්තක් දැක්වූ අතර ඔහුගේ නිදහස් චින්තනය තුළින් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය අභිවර්ධනයෙහිලා විශාල මෙහෙයක් කිරීමට එය වෙසෙසින් බලපාන්නට ඇත. මන්දයත් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය උදෙසා ඔහුගේ රචනා බෙහෙවින් වැදගත් වූ හෙයිනි. ඔහුගේ " මහජන මතය " නැමැති කෘතිය සන්නිවේදන අධ්‍යයන සඳහා  වැදගත් වූ කෘතියක් ලෙස විද්වතුන්ගේ ද සම්භාවනාවට පාත්‍ර වේ.
මුලදී ඔහු බොස්ටන්හි සමාජවාදී පුවත්පතක සේවය කළ අතර ඉන් අනතුරුව new Republic නැමැති ශ්‍රාස්ත්‍රීය සඟරාවෙහි කර්තෘ ධූරයට ද පත් විය. ඉන් පසුව 1921 දී නිව්යෝක්හි “New York " නම් පුවත්පතට සම්බන්ද වූ ඔහු එහි කර්තෘ වාක්‍ය ලියන ලදි. ඉන් පසු ලිප්වින් ගතානුගතික නැඹුරුවකින් යුත් "New York Herald Tribune" පුවත්පතට සම්බන්ධ වූ අතර එහි දී ඔහු "Today and Tomorrow" නමින් තීරු ලිපියක් සතියකට සිවු වතාවක් බැගින් රචනා කළ අතර ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ එම ලිපි පෙළත් සමඟය. 1963 දී ඔහු "The Washington Post" පුවත් පතට සම්බන්ධ වී කටයුතු කරයි. ඔහුගේ නිදහස් මතවාදී චින්තනය ද මෙම පුවත්පත්වල ඔහු විසින් පල කරන ලද ලිපි මඟින් තහවුරු විය. දේශපාලන සංසිද්ධීන් අරබයා ඔහු විවිධ ලිපි පල කළ අතර ඒවා අපක්ෂපාත බවින් යුක්ත ඒවා වීම නිසා පාඨකයින් අතර අතිශයින් ජනප්‍රිය විය. මෙම කරුණු නිසාම ඇමරිකාව තුළ 20 වන සියවසේ බිහි වූ සුප්‍රසිද්ධ හා විශිෂ්ටතම පුවත්පත් කලාවේදියා ලෙස ද ඔහු ඉතිහාස ගතව ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රචාරණයේ කාර්යයභාරය පිළිබඳ මහජන අවබෝධය ඇති කිරීමෙහිලා ලිප්මන් විසින් රචනා කරන ලද "Public Opinion" නම් වූ කෘතිය අතිශයින් වැදගත් විය. මහජන මතය හැඩ ගැස්වීම සදහා මුඛ්‍ය සාධකයක් ලෙස ලිප්මන් මෙහිදී හදුනා ගත්තේ "Stereotypes" එය යථාර්තය සරල භාවයට ගෙන එනු ලබන කේතයකි. එවිට සන්දේශ මූලයට අවශේෂ ජනයා වෙත එය පහසුවෙන් සන්නිවේදනය කළ හැකිය.
සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය අරභයා ලිප්මන් විසින් දක්වන ලද දායකත්වය විශද කරන්නාවූ තවත් එක් සුවිශේෂී පැතිකඩක් ලෙස ඔහු විසින් හදුන්වා දුන් "Agenda Setting" "න්‍යායපත්‍ර සැලසුම් කරණය" පෙන්වා දිය හැකිය. සැබෑ ලෝකයේ පවතින ප්‍රතිරූප හා එකී සංසිද්ධීන් පිළිබඳ  අපගේ මනස තුල පවතින ප්‍රතිරූප අතර සහ සම්බන්ධය ගොඩ නැගීමට ජනමාධ්‍ය සෘජු ලෙස බලපෑම් කරන බව ඔහු මෙමගින් පෙන්වා දෙන ලදි. මෙය පසුකාලීනව දේශපාලන විද්‍යාඥයකු වන බර්නාඩ් කෝනන් විසින් තව දුරටත් සංවර්ධනය කරන ලදි.
මෙම "න්‍යායපත්‍ර සැලසුම් කරණය" ක්‍රියාවලියට ප්‍රධාන සංචරක 03ක් ඇතුළත් වෙයි.
·         මාධ්‍ය න්‍යායපත්‍ර කරණය
·         මහජන න්‍යායපත්‍ර කරණය
·         ප්‍රතිපත්ති න්‍යායපත්‍ර කරණය
මෙම න්‍යායපත්‍ර කරණ සංචරක එකිනෙකට සහසම්බන්ධ වූ ප්‍රතික්‍රියාවක් දක්වනු ලබයි. එනම් මාධ්‍ය න්‍යායපත්‍ර කරණය මහජන න්‍යායපත්‍රකරණයට බලපෑම් කරන අතර ඒ බලපෑම ප්‍රවෘතිමය න්‍යායපත්‍ර කරණය සදහා තුඩු දෙනු ලබයි. මෙම ක්‍රියාවලිය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන මතය ක්‍රියාවට නැගෙන ආකාරය විවරණය කරනු ලබයි. මෙම න්‍යායපත්‍ර සැකසුම් කරණය සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඉහළ තලයකට ගෙන ඒමට දායක වූ දෙදෙනෙක් ලෙස මැක්කොම්බ් හා ෂෝ යන දෙදෙනා සඳහන් කළ හැකිය. මේ ආකාරයට ලිප්මන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය නව මාවතක් කරා යොමු කරලීම විෂයෙහි විශාල දායකත්වයක් සපයා තිබේ.





Monday, February 19, 2018

සන්නිවේදනයේ පුරෝගාමී චරිත

                                         පෝල් ලැසාස්ෆෙල්ඩ්


Image result
සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය සදහා මුල් අවධියේදී සුවිශේෂී කාර්යයභාරයක් ඉ‍ටු කළ විද්වතුන් අතර විශේෂ  ස්ථානයයක් පෝල් ලැසාස්ෆෙල්ඩ්ට හිමි වෙයි. ඔස්ට්‍රියාවේ වියානා නුවර ඉපදී හැදී වැඩුණු මොහු ගණිතඥයෙකු සේම සමාජ මනෝ විද්‍යාඥයෙක් ද වෙයි. වියානා විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සහ ආචාර්ය උපාධිය ද ලබා ගත් මොහු ඇමරිකාවේ නිව්යෝක්හි සුප්‍රකට කොලොම්බියා සරසවියෙහි සමාජ ශාස්ත්‍ර පිළිබඳ මහාචාර්යවරකු ලෙස වසර 30කට අධික කාලයක් කටයුතු කරන ලදි. මෙම කාල පරාසය තුළ ඔහු සන්නිවේදන ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් ඉ‍ටු කළේය. සිය සමකාලීන විද්වතුන් වූ කාල් හවුලන්ඩ්, හැරල්ඩ් ලැස්වෙල් හා විල්බර් ශ්‍රාම් ආදීන් සමඟ මොහු ඉතා සමීපව කටයුතු කර තිබේ. සමාජ ශාස්ත්‍ර විෂයක් ලෙස සන්නිවේදනය ඇමරිකාවේ පමණක් නොව ලෝකයේ සෙසු රටවලට ද ව්‍යාප්ත කරවීමට පුරෝගාමී මෙහෙවරක් ලැසාස්ෆෙල්ඩ් විසින් සිදු කර තිබීමයි.
ඇමරිකාවේ සමාජ විද්‍යාව හා සන්නිවේදනය පිලිබද සංවර්ධනය සම්බන්ධ වැදගත් ආයතනයක් වන "ආර්ථික මනෝ විද්‍යාව පිලිබද පර්යේෂණ ආයතනය" 1925 දී වියානා නුවර පිහි‍ටුවන මොහු ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් පසු 1936 දී එම පර්යේෂණ මධ්‍යස්ථානය නෙවාක් සරසවියෙහි ආරම්භ කරන ලදි. ඉන් පසුව 1937 දී ප්‍රින්ටන් විශ්ව විද්‍යාලයේ රෙඩියෝ පර්යේෂණ පිලිබද කාර්යාලයේ අධ්‍යක්ෂක වරයා බවටද පත් විය. 1939 දී එය කොලොම්බියා විශ්ව විද්‍යාලයෙහි ආරම්භ කරන ලදි. ලැසාස්ෆෙල්ඩ්ගේ මෙම පර්යේෂණ මධ්‍යස්ථානය තවත් බොහෝ පර්යේෂණ ආයතන පිහි‍ටුවීමට රුකුලක් විය. විශේෂයෙන්ම 1947 දී ඉලිනෝයි සරසවියෙහි ද 1953 දී ස්ටැන්ෆර්ඩ් සරසවියෙහි ද සන්නිවේදන පර්යේෂණ ආයතන විල්බර් ශ්‍රාම් විසින් පිහි‍ටුවීමේ දී උක්ත දක්වන ලද ලැසාස්ෆෙල්ඩ්ගේ පර්යේෂණ ආයතන ආදර්ශයට ගෙන ඒ අනුව පිහි‍ටුවන ලද ඒවා විය. ලැසාස්ෆෙල්ඩ්ගේ මෙම පර්යේෂණ ආයතනය යුරෝපයේ ප්‍රථම වරට එබදු ආකෘතියකින් පිහි‍ටුවන ලද ආයතනය විය. එය ලෝකයේ මාධ්‍ය ග්‍රාහක පරීක්ෂණ පිළිබඳ  ප්‍රථම වරට සිදු කරන ලද පර්යේෂණය වන "වියෙනා ගුවන් විදුලිය පිළිබඳ  ග්‍රාහක පර්යේෂණය" සිදු කරන ලදි.
ලැසාස්ෆෙල්ඩ්ට රොකෆෙලර් පදනම මඟින් පිරිනමන ලද අධිශිෂ්‍යත්වයක් මත ඇමරිකාවට සංක්‍රමණය වීමට අවස්ථාව සැලසුන අතර එය ඔහුට ලැබුණු අසාමාන්‍ය අවස්ථාවක් ලෙස සඳහන් වේ. හේතුව ඔහු වියේනා විශ්ව විද්‍යාලයෙහි දී අවශ්‍යය වෘතීය සුදුසුකම් සපුරා තිබුන ද ඔහුට යෝග්‍ය ස්ථානය ලබා දීමට මහාචාර්යය කාල් බුහ්ලර්ට අපහසු විය. මන්දයත් ඔහු යුදෙවු ජාතිකයකු වීම නිසාය. එමනිසා ඔහු අධිශිෂ්‍යත්වය සඳහා නම් කරන ලද බව සදහන්වේ. කෙසේ නමුත් ඇමරිකාවේ ඔහු ගත කාලය ඔහුගේ ජීවිතයේ ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදයක් විය. එහි දී ඔහුට සැමුවෙල් ඒ.ස්ටවුනර්, රොබට් එස් හා ලින්ඩ් බදූ ප්‍රමුඛ ඇමරිකානු විද්වතුන් මෙන්ම රොබට් ලින්ච් සමඟ පැවති ආශ්‍රය ඔහුට ඉතා වැදගත් විය. ලැස්ෆෙල්ඩ් ඇමරිකාවේ ගතකල කාලයේ ඔහුගේ බිරිද වූ මාරි ජහෝඩා ආර්ථික මනෝ විද්‍යාව පිලිබද පර්යේෂණ ආයතනයක් පවත්වාගෙන යන අතරතුර එවකට ඔස්ට්‍රියාවේ පැවති සමාජවාදී ආණ්ඩුව මගින් ඇය අත්තඩංගුවට ගන්නා ලදි. එසේම ලැසාස්ෆෙල්ඩ්ට හිමිව තිබූ ගුරු වෘතිය ද ඔහුට අහිමි විය. ඇමරිකාවේ සිට ආපසු පැමිණන ලැසාස්ෆෙල්ඩ්ට ඔස්ට්‍රියාවේ පැවති දේශපාලනික තත්ත්වය තුළ එහි වාසය කිරීමට අපහසු වූ බැවින් පෙරලා ඇමරිකාවට සංක්‍රමනය වන අතර එහි දී ලින්ඩ් ඔහුට ඇමරිකාව තුළ යම් ස්ථාවර බවක් ගොඩ නගා ගැනීමට උපකාර කරයි.
ලැසාස්ෆෙල්ඩ් සන්නිවේදන ක්ෂේත්‍රයට ක්‍රියාකාරීව එක්වන්නේ 1930 දශකයේ මැද භාගයේදී ය. එහිදී ඔහු ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරයි. එම කාල වකවානුව වන විට ගුවන් විදුලිය ආරම්භ වී විශාල ලෙස ජනප්‍රියව පැවති යුගයකි. එම නිසාවෙන්ම ඒ පිළිබඳ  කරන අධ්‍යයනයන් විශාල පරිශ්‍රමයකින් යුතුව කළ යුතු විය. රොකෆෙලර් පදනම මඟින් 1937 දී ගුවන් විදුලියේ ස්වභාවය හා එහි සමාජීය බලපෑම පිළිබඳ  පුලුල් ගවේෂණයක්  කිරීමට හඩ්ලි කැන්ට්‍රිල්ට භාර දෙයි. ඒ සදහා අවශ්‍යය ප්‍රතිපාදන රොකෆෙලර් පදනම මඟින් සපයා දෙනු ලැබීය. ලැසාස්ෆෙල්ඩ්ට මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ අධ්‍යයක්ෂක තනතුර හිමි විය. කැන්ට්‍රිල් සහ පසු කාලයේ කොලොම්බියා ගුවන් විදුලි සේවයේ අධ්‍යයක්ෂක ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ෆ්‍රෑන්ක් ස්ටැන්මග් යන දෙදෙනා ලැසාස්ෆෙල්ඩ්ගේ ආශ්‍රිත අධ්‍යක්ෂකවරුන් දෙදෙනා විය. ලැසාස්ෆෙල්ඩ්ගේ ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියේ මුල් අවුරුදු දෙකම වැය කරන ලද්දේ ගුවන්විදුලි පර්යේෂණ සඳහා භාවිතා කළ හැකි ක්‍රමවේද සංවර්ධනය කිරීම සඳහාය. ඒ වන විට ගුවන්විදුලි පර්යේෂණ ක්ෂේත්‍රයේ පූර්වාදර්ශ නොමැති වීම නිසා ඔහුට ස්ව අභිමතය පරිදි කටයුතු මෙහෙය වීමට අවථාව ලැබිණි. 1937 වසරේ දී ගුවන් විදුලි වැඩසටහන් හා ශ්‍රාවකයන් පිළිබඳ  පැවැත්වූ විස්තීරණම අධ්‍යයනය ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබීය.
·         ශ්‍රාවක පිරිස පිළිබඳ  එවක සැපයුණු සියලු දත්ත ද්විතීය විග්‍රහයකට බඳුන් කිරීම.
·         ගුවන් විදුලි වැඩ සටහන් සම්බන්ධ අන්තර්ගත අධ්‍යයනයක් පැවැත්වීම.
·         ගුවන් විදුලි වැඩසටහන් කෙරෙහි වූ ශ්‍රාවක කැමැත්ත මැනීමට ලැසාස්ෆෙල්ඩ් සහ ස්ටැන්මග් විසින් උපකරණ නිපදවීම
ආදී කටයුතු මෙහි දී සිදු වුණු බව සදහන් වේ. ලැසාස්ෆෙල්ඩ්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම පර්යේෂණ මාලාව නිසා සන්නිවේදන පර්යේෂණ පිළිබඳ  ලොව පුරා පෙර නොවූ විරූ උද්යෝගයක් ඇති වූ ආකාරයක් දැක ගත හැකි විය. සන්නිවේදන සමාජ විද්‍යාව යන නව විෂය ක්ෂේත්‍රයක් ද ඇති වීම තුළින් මෙම පර්යේෂණ සාර්ථක ඒවා බව තහවුරු වේ.
පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතයේදී ගුවන් විදුලිය බලපාන්නේ කෙසේද? ගුවන් විදුලි භාවිතය හා සන්තුෂ්ටිය පිළිබඳ  කරුණු මුලින්ම විග්‍රහාත්මකව විස්තීරණ පරාසයක් කරා අවධානය විහිදුවාලමින් විධිමත් ලෙස අධ්‍යයනයක් සිදු කරනු ලබූවේ ලැසාස්ෆෙල්ඩ් ප්‍රමුඛ පිරිස බව සදහන් කළ හැකිය.ගුවන් විදුලි නාට්‍ය ශ්‍රාවකයන් ගැන හර්සෝග් විසින් සිදුකළ අධ්‍යයනයත් 1938 දී ධ්ර්සන් වෙල්ස් විසින් නිපදවා ප්‍රචාරයට පත් කල "ජගත් යුද්ධය" යන නාට්‍යයට ලැබුනු ප්‍රතිචාර විමසුමට බදුන් කළ අධ්‍යයනය හා තියොඩර් අඩෝර්ෆේ විසින් මෙම ව්‍යාපෘතිය යටතේම ජනප්‍රිය සංගීතය සහ සම්භාව්‍යය සංගීතය පිළිබඳ  ශ්‍රාවක රුචි අරුචිකම් සොයා බලන ලදි. එමෙන්ම මෙම ගුවන්විදුලි පර්යේෂණ ව්‍යාපෘතියෙහි දී ලබාගත් ප්‍රතිපල ග්‍රන්ථ 04 ක් සහ පර්යේෂණ ලිපි 70කට අධික සංඛ්‍යාවක් මඟින් ප්‍රකාශයට පත් විය. මාෂල් විසින් මෙම පදනමට මූල්‍ය අනුග්‍රහය මෙතෙක් කාලයක් ලබා දුන් අතර නමුත් ලැසාස්ෆෙල්ඩ් ව්‍යාපෘතියට අදාළ සවිස්තර සැලසුම අනුව ක්‍රියාකරනු වෙනුවට තමාට ප්‍රියවූ දිශානති කෙරෙහි යොමු වූ අධ්‍යයන මාර්ග ඔස්සේ පර්යේෂණ සිදු කරන බව මාර්ෂල් දැනගත්තේය. එවිට ඔහු වහා ලැසාස්ෆෙල්ඩ්ට දන්වා සිටියේ මෙතෙක් කරන ලද අධ්‍යයන පිළිබඳ  පූර්ණ වාර්ථාවක් තමා වෙත ලබා දෙන ලෙසය. ඒ සදහා ඔහුට මාස 05ක කාලයක් ලබා දෙන ලදි. ලැසාස්ෆෙල්ඩ් එය මැනවින් ඉ‍ටු කළේය. ඔහු “Radio and the printed page: An Introduction to the study of radio and its role in the communication of ideas" නමින් පි‍ටු 354 ක වාර්ථාවක් මාර්ෂල් වෙත ඉදිරිපත් කරන ලදි. එය අධ්‍යයනය කිරීමෙන් සතුටට පත් මාර්ෂල් තවත් වසර 02ක් සඳහා මුල්‍ය අනුග්‍රහය දැක්වීමට එකඟ  විය.එසේම සන්නිවේදන ක්ෂේත්‍රයෙහි සුප්‍රකට විද්වතුන්ගෙන් සමන්විත සන්නිවේදන සම්මන්ත්‍රණයක් ආරම්භ කළ අතර වාර්ෂිකව ‍රැස් වන මෙම විද්වතුන්ගේ කාර්යය වූයේ ව්‍යාපෘතියෙහි කටයුතු සමාලෝචනය හා සන්නිවේදන පර්යේෂණ වැඩි දියුණුව සඳහා අවශ්‍යය තීරණ ගැනීමයි.
මීට අමතරව ලැසාස්ෆෙල්ඩ් විසින්ම ගුවන් විදුලි ශ්‍රවණය සහ කියවීම පිළිබඳ  තුලනාත්මක අධ්‍යයනයක්ද සිදු කරන ලදි. ජනමත විමසුම සඳහා යොදා ගත් ක්‍රමවේද ඉතා පුලුල්ව ගුවන් විදුලි වැඩසටහනකට අවධානය යොමු කළ ශ්‍රාවක පිරිස කොපමණ ප්‍රමාණයක්ද යන්න තීරණය කිරීම සඳහා සහ ගුවන් විදුලි වැඩසටහනකට සවන් දුන් මුළු ශ්‍රාවක පිරිස කොපමණ ද යන්න තීරණය කිරීමට ද යොදාගනිමින් සමීක්ෂණ ක්‍රමවේද තවදුරටත් ජනප්‍රිය කරවීමට ලැසාස්ෆෙල්ඩ් පුරෝගාමීව කටයුතු කරන ලදි. ඔහුගේ පර්යේෂණ බොහෝමයක් අද ද ඉතා වැදගත්කමක් දරයි. ශ්‍රාවකයින් ගුවන් විදුලියට සවන් දෙන්නේ මූලික ලෙසම තමන්ගේ පෞද්ගලික අභිරුචිය නිසා බව ඔහු විසින් පෙන්වා දෙන ලදි.
ලැසාස්ෆෙල්ඩ් මූලික ලෙසම ක්‍රමවේද සකසන්නෙකු මිස සන්නිවේදන විද්‍යාඥයෙකු නොවේ. නමුත්  ජනසන්නිවේදන පර්යේෂණ ක්ෂේත්‍රයෙහි සමාරම්භයෙහිලා ඔහු ඒ සදහා දැක්වූ දායකත්වය අතිවිශාලය. ඔහුගේ සමාජීය පර්යේෂණ චර්යාව ඔහු විසින් පහත ආකාරයට ආකෘති ගත කොට තිබේ.

·         කවර සංසිද්ධියක්, ප්‍රස්තුතයක් වුව විෂය මූලික නිරීක්ෂණ අන්තරාවලෝකනීය වාර්ථා අනුව මැනිය යුතුය.
·         ප්‍රත්‍යෙක අධ්‍යයන සංඛ්‍යානමය දත්ත හා විඥාපන සමඟ සංයෝග කළ යුතුය.
·         දත්ත ඒකරාශී කරනය අධ්‍යයනය කරණු ලබන ප්‍රස්තුතයෙහි ඉතිහාසයට අදාළ තොරතුරු සමඟ  සංයෝග කළ  යුතුය.
·         සුවිශද මිනුම් ක්‍රම මගින් සපයා ගැනෙන දත්ත , ප්‍රශ්නාවලී හා වෙනත් ස්වයං වාර්ථාකෘත දත්ත සමඟ  සංයෝග කළ යුතුය.
ජනමාධ්‍යයේ බලපෑම පිළිබඳ  පර්යේෂණ කාර්යයක් ලෙස සැලකෙන "එරී කවුන්ට්" අධ්‍යයනය 1940 දී ලැසාස්ෆෙල්ඩ් විසින් මෙහෙයවන ලද්දකි. මෙම අධ්‍යයනය ඇසුරින් 1944දී මොහු විසින් ලියා පල කරන ලද "The People’s choice”ඔහු විසින් රචනා කරන ලද ප්‍රථම කෘතියයි. ඇමරිකානු ජනාධිපතිවරනය පදනම් කර ගනිමින් සිදු කරන ලද එම අධ්‍යයනයෙන් පසුව ජනමත නායකත්වය ජනසන්නිවේදන පර්යේෂණ පිලිබද වැදගත් අංගයක් බවට පත් විය. එරී කවුන්ට් පර්යේෂණ සැලසුම කරන විට ලැසාස්ෆෙල්ඩ් සිතුවේ ජනමාධ්‍යය මගින් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති හා ප්‍රචාරන ව්‍යාපාර තුළින් විශාල ලෙස ජනමතය වෙනස් වීමට බලපෑම් සිදු වන බවටය. නමුත් පර්යේෂණයෙන් පසුව අනාවරණය වූයේ එය ඉතා අවම මට්ටමක පවතින බවය. මෙහි දී වැදගත් වන්නේ මොහු විසින් ජනමාධ්‍යය පර්යේෂණ සඳහා දැඩි කැපවීමෙන් ඔහු සොයා ගත් සිද්ධාන්ත වර්තමනය හා 100% ගැළපීමක් කළ නොහැකි වුව ද සන්නිවේදන අධ්‍යයන මූලාරම්භක අවධියෙහි සිදු කළ එවැනි පර්යේෂණ තුළින් සන්නිවේදන අධ්‍යනයන් විධිමත් දිශානතියක් වෙත යොමු කරන ලදි.
ü  ලැසාස්ෆෙල්ඩ් විසින් කොලොම්බියා සරසවියෙහි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන කාලයෙහි එනම් 1944 දී පිහි‍ටුවන ලද "ව්‍යවහාරික සමාජීය ශ්‍රාස්ත්‍ර බියුරෝව"මඟින්ද වැදගත් පර්යේෂණ රාශියක් සිදු කරණ ලදි.
·         ඇමරිකානු මහාචාර්යයවරුන් කෙරෙහි මැකාත්වාදයෙහි බලපෑම පිළිබඳ  ලැසාස්ෆෙල්ඩ් සහ තිලන්ගේ අධ්‍යයනය.
·         මැදපෙරදිග නව්‍යකරනයෙහිලා ජනමාධ්‍යයේ කාර්යයභාරය  පිළිබඳ  ඩැනියල් ලර්නර්ගේ අධ්‍යයනය.
·         ඖෂධයක ව්‍යාප්තිය හා ඊට අනුගතවීම පිළිබඳ  කොල්මන් කාර්ථස් සහ මෙන් සල්ගේ අධ්‍යයනය යන අධ්‍යයනයන් ඉන් කිහිපයකි.

ලැසාස්ෆෙල්ඩ් විසින්ම හදුන්වා දුන්  තවත් සිද්ධාන්තයක් වූයේ " සන්නිවේදනයේ දෙපියවර ගලනය පිළිබඳ සිද්ධාන්තයයි." තොරතුරු ගලනය දිශා දෙකකට සිදුවන බව මෙයින් අදහස් කරයි. ඒ සිරස්ව සහ තිරස්වය. මෙසේ සිදුවේ යැයි මෙහිදී උපකල්පනය කරනු ලබයි. ජනමාධ්‍ය ප්‍රධානීන්ට මුලින්ම තොරතුරු ලැබේ. එනම් මොවුන් මුලින්ම ජනමාධ්‍යයට නිරාවරනය වන බැවිනි. ජනමාධ්‍ය සේවනය කරන ප්‍රමාණය වැඩි නිසා මොවුන් තුළ පවතින දැනුම ද වැඩි යැයි සැලකේ. ජනමාධ්‍ය මඟින් ජනමත ප්‍රධානීන්ට සන්නිවේදනය සිදු වන්නේ තිරස්ව බව උපකල්පනය කරයි. ජනමාධ්‍ය මඟින් ජනමත ප්‍රධානීන්ට ලබාදෙන තොරතුරු අනෙක් බහුතර ජනතාවට ද ලබා දෙන්නේ තිරස්ව බවට ද උපකල්පනය කරයි. ජනමාධ්‍යයට සෘජුවම තම ග්‍රාහකයාට බලපෑම් කළ නොහැකිය. මුහුණට මුහුණලා කරන බලපෑම ඊට වඩා ප්‍රබලය. එනම් ජනමත ප්‍රධානීන්ට පණිවිඩය විස්තර කොට ප්‍රකාශ කළ හැකි බැවිනි. අනෙක් අතට මෙම ජනමත ප්‍රධානියා සමාජයේ විශ්වාසය දිනාගෙන සිටින අයෙක් වීම නිසා එම විශ්වසනීයත්වය ද සන්නිවේදනයට බලපායි. තොරතුරු බෙදා හැරීමේදී, අර්ථකතනය කිරීමේදී , ව්‍යාප්ත කිරීමේ දී ජනමත ප්‍රධානීන් විශාල කාර්ය භාරයක් ඉ‍ටු කරයි. මෙම දෙපියවර ගලන සිද්ධාන්තයේ දී ඊට ආවේණික ඌනතාව වන්නේ එමඟින් ජනමාධ්‍යවල බලපෑම හීන වී තිබීමයි. නමුත් ජනමාධ්‍ය ව්‍යාප්තිය හා එහි තාක්ෂණික සංවර්ධනය මූලික අදියරක පැවති එම කාල වකවානුවට මෙම සිද්ධාන්තය ගැළපුන ද ජනමාධ්‍ය ව්‍යාප්තිය හා එහි තාක්ෂණික සංවර්ධනය වර්ධනීය තලයක පවත්නා වර්තමානය තුළ මෙම සිද්ධාන්තය ප්‍රායෝගික වූවක් නොවුවත් මෙම සිද්ධාන්තය ද සන්නිවේදනය තදුරටත් සංවර්ධනය කීරීමට රුකුලක් වූ බව සැබෑ ය.
මේ ආකාරයට පැහැදිලි වන්නේ ලැසාස්ෆෙල්ඩ් සන්නිවේදන අධ්‍යනයන්හි අභිවර්ධනය උදෙසා විශාල කාර්යයභාරයක් ඉ‍ටු කර ඇති බවය. සන්නිවේදනය සමස්ථ සමාජ, ආර්ථික හා දේශපාලන ස්ථරයන් වසා පැතිර පවත්නා බව ද සන්නිවේදනයෙන් තොර මිනිස් දිවියක් හෝ මානව කටයුත්තක් නොමැති තරම් යැයි පෙන්වා දුන් මොහු සන්නිවේදනය ආශ්‍රිත විවිධ කරුණු මෙන්ම ශ්‍රාවක, ප්‍රේක්ෂක, පාඨක සිතුම්, පැතුම්, අදහස්, ආකල්ප මෙන්ම නිවරදිවත් අධ්‍යයනය කිරීමට අවශ්‍යය පදනම සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඇති කරන ලද පුරෝගාමී චරිතයක් ලෙස ලැසාස්ෆෙල්ඩ් හදුන්වා දිය හැකිය.


Monday, February 5, 2018

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන ආදර්ශ ප්‍රශ්න පත්‍ර දැන් ඔබේ අතට

Image result for study student images
(අ.පො.ස) උ.පෙළ හා සා.පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂයක් ලෙස හදාරණ සිසුවියන්ට වාර විභාගයට සූදානම් වීම සඳහා අවශ්‍ය ආදර්ශ ප්‍රශ්න පත්‍ර නිවසටම ගෙන්වා ගැනීමට පහත විද්‍යුත් ලිපිනයට පණිවුඩයක් එවන්න.

amandasilvasmedia@gmail.com

සන්නිවේදනයේ පුරෝගාමී විද්වතුන්

මහාචාර්යය විල්බර් ශ්‍රාම්

Image result


ජර්මනියේ උපත ලද විල්බර් ශ්‍රාම් නුතන සන්නිවේදනයේ පියා ලෙස ඉමහත් ආඩම්බරයෙන් සලකනු ලැබේ.ඔහු විසින් සන්නිවේදනය පිළිබඳ පළ කරන ලද නිර්වචනය සන්නිවේදනයේ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හැඳින්විය හැක.එනම්,
''තොරතුරු ගැබ් වූ සංඥාවක් නිසා දෙපාර්ශයක් අතර එක හා සමාන මානසික තත්ත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි'' යනු එම නිර්වචනයයි.
මෙම නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමේ දී ශ්‍රාම් මෙහි ''දෙපාර්ශවයක්''යනුවෙන් හදුන්වන්නේ ''සන්නිවේකයා'' හා ''ග්‍රාහකයායි'' එක් පාර්ශ්වයක සන්නිවේදකයා සිටින අතර ''තොරතුරු'' ගැබ් වූ සංඥාව යනු සංදේශයයි. මෙම තොරතුරු ගැබ්ව ඇත්තේ සංඥාව තුළය. එම ''සංඥාව'' දෙපාර්ශ්වය අතර හුවමාරු වන බව ශ්‍රාම් විස්තර කරයි. එසේම විල්බර් ශ්‍රාම් තම නිර්වචනයේ ද ඵලය හෙවත් බලපෑම පිළිබදව ද අවධානය යොමු කරයි. එනම් ''සමාන මානසිකත්වයක් ඇතිකරලීමයි''
සන්නිවේදනය දෙස සියලු අංශ නියෝජනය වන අයුරින් විමර්ශනයට ලක් කොට ඇති මොහු සන්නිවේදනය විධිමත් අඩිතාලමක් කරා ගෙන ඒමට පුරෝගාමී වූ දාර්ශනිකයෙන් ලෙස පෙන්වා දිය හැක.
තව ද සන්නිවේදන අධ්‍යයනය විධිමත් ලෙස ආයතනගත කිරීමට මෙන්ම සන්නිවේදන විෂයෙහි ප්‍රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. ඔහු විසින් සන්නිවේදන අධ්‍යයනය විධිමත් ආකාරයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලබීය.සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රාම් පර්යේෂකයකු ලෙස ද න්‍යායවාදියකු ලෙස ද විෂය පෝෂණය කරන ලදි. සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍යය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සඳහන් කළ හැකිය.
විල්බර් ශ්‍රාම් විසින් 1948 දී ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි "සන්නිවේදන පර්යේෂණ ආයතනය" නම් ආයතනය පිහි‍ටුවනු ලැබීය. ඔහු එම ආයතනයේ අධ්‍යක්‍ෂක වරයා ද විය. 1947 සිට 1955 දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ  මහාචාර්ය වරයකු ලෙස ද ඔහු කටයුතු කළ  අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ද ඉහත ආකාරයේම පර්යේෂණ ආයතනයක් පිහි‍ටුවීමට ශ්‍රාම් කටයුතු කරන ලදි. 1955 සිට ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක ලෙස කටයුතු කළ අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ද කටයුතු කරන ලදි. තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සන්නිවේදනය දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයා වන්නේ ද ශ්‍රාම්ය. 1964 දී විල්බර් ශ්‍රාම් හා ඩැනියල් ලර්නර් හවායි නුවර දී “Communication and Change in the Developing Countries” නමින් විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අතර ඒ නමින් පොතක් ද නිකුත් කරන ලදි. එහි දී ශ්‍රාම් පහත කරුණු අවධානයට ලක් කොට තිබේ.
1.    තුන්වන ලොකයේ රටවල පාසල්වල ජන සන්නිවේදනය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම තුළින්  ජන ජීවිතය පරිපූර්ණත්වයට පත් කළ හැකිය යන්න.
2.    අධ්‍යාපන ක්ෂේත්‍රයට හා අනෙකුත් සංවර්ධනය සඳහා උරදෙන ආයතන වලට ජන සන්නිවේදනය පිළිබඳ  අවබෝධය වර්ධනය කිරීම තුළින් වඩා හොඳ ඵලදායිතාවක් ලබා ගත හැකි බව.
3.    ජන සන්නිවේදනය තුළින් ලබා දෙන දැනුම් සම්භාරයක් තුළින් පාසල් ළමුන් සේම සාමාන්‍ය  ජනයා ද සංවර්ධනය සදහා දිරි ගැන්විය හැකි බව.
4.    ජාතික සංවර්ධනය උදෙසා ජන සන්නිවේදනය විශාල පි‍ටුබලයක් වන බව.
වසර 10ක පමණ කාලයක් තිස්සේ මෙම ග්‍රන්ථය සංවර්ධනය වන රටවල සන්නිවේදන පසුබිම හැදෑරීමට උසස්ම ගනයේ කෘතියක් ලෙස ලොව පුරාම භාවිත වන්නට විය. වසර 10කට පසු මුල් සම්මන්ත්‍රණයේ දැක්වූ අදහස් ගොනුකොට "සන්නිවේදනය හා විපරිනාමය: පසුගිය දස වසර සහ ඉදිරි දස වසර" නම් ග්‍රන්ථය පළ කෙරිණි. ලොව පුරා සන්නිවේදන අධ්‍යයන විධිමත් ලෙස ආයතන ගත වීමට අවශ්‍ය පදනම මෙමගින් සකස් කරනු ලැබූ බව සදහන් කළ හැකිය.
1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලාගතව සන්නිවේදන අධ්‍යයනය විශ්වවිද්‍යාල තුළ අධ්‍යයනය කිරීම මුළු ලොව පුරා විසිරී යන ලදි.1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයනය විෂය කෙරෙහි ප්‍රමුඛතාවක් යුරෝපීය විශ්වවිද්‍යාල ලබා දෙන ලදි. යුරෝපය තුළ පමණක් 1970 දී ජන සන්නිවේදනය ප්‍රථම උපාධිය සඳහා හැදෑරූ සංඛ්‍යාව 11000කි. 1990 දශකයේ මුල් කාර්තුවේ දී ජනසන්නිවේදන අධ්‍යයනය හැදෑරූ පිරිස 50000ක් ලෙස ලොකයෙන් වාර්ථා විය.
1970 දී වසරකට මෙම විෂයෙන් ප්‍රධානය කරන ලද උපාධි සංඛ්‍යාව 1700 ක් වූ අතර අද වන විට එය 4000 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකාව තුළ පමණක් ඇති විශ්වවිද්‍යාල මඟින්  එනම් කොලොම්බියා, හාවඩ් ආදී ලොව ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල මගින් වසරකට ආචාර්ය උපාධි 250 ක් පමණ අද වන විට පිරිනමණු ලබයි. එසේම ඇමරිකාව තුළ ප්‍රමුඛ විෂයක් ලෙස ජනසන්නිවේදනය හැදෑරීමට අවකාශ ඇති විද්‍යායතන හා දෙපාර්තුමේන්තු ගණන අද වන විට 2000කට අධිකය.
තව ද අද වන විට වෙස්ටර් , සිටි, වේල්ස්, වෙස්ට් මිනිස්ටර් ආදී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ විශ්වවිද්‍යාල රාශියකම මෙම විෂය සදහා ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. සුප්‍රකට වෙස්ටර් විශ්ව විද්‍යාලය සතුව යුරෝපයේ ජනප්‍රියම සන්නිවේදන පාඨමාලාව පවතින අතර එම සරසවිය මගින් යුරෝපය තුල එම විෂය සදහා පවතින ගෞරවනීයම උපාධියද පිරිනමනු ලබයි.
යුරෝපය තුළ ජනසන්නිවේදන අධ්‍යයනය මුලින්ම ආරම්භ වී ආයතන ගත වීම සිදු වූ අතර අද වන විට ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා කලිබියානු ආදී රටවල ද විශ්වවිද්‍යාලවල පාඨමාලා ගතව අධ්‍යයන කටයුතු සිදු කරන හා උපාධි ප්‍රදානය කරනු ලබයි. විශේෂයෙන්ම ඉහතින් ද සදහන් කරන ලද අන්දමට විල්බර් ශ්‍රාම්ගේ මැදිහත්වීම තුළින් ජන සන්නිවේදනය විෂයෙහි ඇති වූ ප්‍රබෝදය මේ සදහා සෘජුව බලපාන්නට ඇත.



Thursday, February 1, 2018

සන්නිවේදනයේ පුරෝගාමී විද්වතුන්

                                   හැරල්ඩ් ලැස්වෙල් 

Image result for harold lasswell

දේශපාලන විද්‍යා ශ්‍රාස්ත්‍ර යකු ලෙස සිටිමින් සන්නිවේදන විෂය ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය උදෙසා ඉමහත් මෙහෙයක් කළ විද්වතකු ලෙස ලැස්වෙල් හදුන්වා දිය හැකිය. ප්‍රෙස්බ්ටේරියන් පූජකවරයකුගේ පුත්‍රයකු ලෙස 1902 පෙබරවාරි 13 වන දින මෙලොව උපත ලද් ලැස්වෙල් කුඩා කල සිටම සෑම දෙයක් පිළිබඳවම  විමසිල්ලක් දැක්වූවා සේම විවිධ විෂයන් පිළිබඳ  ලියවුණු පොත පත ද කියවන්නට පුරුදු වී සිටියේය. වයස අවුරුදු 16 දී ඉතිහාසය හා ඉංග්‍රීසි විෂයන්ගෙන් ශිෂ්‍යත්වයක් දිනා ගත් ඔහු 1918 දී චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු සිවු වසරක් ශ්‍රාස්ත්‍ර හදාරා ප්‍රථම උපාධිය දේශපලන විද්‍යාවෙන් ලබා ගත් අතර 1926 දී ආචාර්යය උපාධියත් එම විශ්ව විද්‍යාලයෙන්ම ලබා ගත්තේය. ඔහුගේ උපාධි නිබන්ධනය වූයේ "propaganda techniques in the world war "යන්නය. එනම් "ලෝක සංග්‍රාම සමයේ භාවිතා කල ප්‍රචාරක විධි" යන්නය. මෙම ග්‍රන්ථය සන්නිවේදන සිද්ධාන්ත අරභයා වූ පුරෝගාමී පර්යේෂණයක් ලෙස සන්නිවේදන අධ්‍යයන ඉතිහාසයෙහි සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ලැස්වෙල් ප්‍රථම උපාධිය සේම ආචාර්ය උපාධිය ද දේශපාලන විද්‍යාව සදහා ලබා ගත්ත ද ඔහු කිසිදු විටෙක එම විෂය ක්ෂේත්‍රයට පමණක් සීමා වී කටයුතු කළේ නැත. ඔහු මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හා සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රයන් පිලිබදවද අධ්‍යයනයන් සිදු කිරීමට උත්සාහ කරන ලදි. ඔහු සෘජු ලෙසම සන්නිවේදන ශ්‍රාස්ත්‍රයෙකු ලෙස කටයුතු නොකළ ද ඔහුගේ ශ්‍රාස්ත්‍රීය එළඹුම තුළ වර්තමානයෙහි සන්නිවේදනය ලෙස පිළිගැනෙන සමාජ ශ්‍රාස්ත්‍රය අභිවර්ධනයට අතිශයින් ඉවහල් වන්නාවූ ශ්‍රාස්ත්‍රීය එළඹුමක්  ඒ තුළ පවතී.ලැස්වෙල් අධ්‍යයනය කළ විෂය ක්ෂේත්‍ර ලෙස ප්‍රචාරණය, ජනමතය සකස් වීම, දේශපාලන භූමිකා හා ජනමාධ්‍ය පිළිබඳ  අන්තර්ගත විෂය විශ්ලේෂණ ආදිය පෙන්වා දිය හැකිය.
එසෙම මොහු ලන්ඩන්, ජිනීවා, පැරිස් සහ බර්ලින් හිදී ද පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වල නිරත විය. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ හා කාල් මාක්ස්ගේ ලියවිලි හැදෑරූ මොහු ඒ ගැන පර්යේෂණ කටයුතු ද සිදු කරන ලදි. මනෝ විග්‍රහය පිළිබඳ පුළුල්  ලෙස පර්යේෂණ ද පැවැත්වීය.ලැස්වෙල් බොහෝ විට පවතින දේ හදාරන්නෙකුට වඩා නව දේ සොයා යන්නෙකු ලෙස කටයුතු කරන ලදි. අධි ශිෂ්‍යත්වයක් මත ඔහු බොස්ටන්, වියේනා හා බ්ර්ලින් සංචාරය කොට ආපසු චිකාගෝ විශ්ව විද්‍යාලයට පැමිනි පසු චර්යාවාදය සමඟ  මනෝ විශ්ලේෂණ න්‍යාය සම්බන්ධ කිරීමට උත්සාහ ගත් අතර නමුත් ඒ සදහා ඔහුට අවස්ථාවක් නොලැබිණි.හේතුව වූයේ සාම්ප්‍රදායික මනෝ විද්‍යාඥයින් එයට දැඩි ලෙස විරුද්ධ වීමය. එසේම දේශපාලන විද්‍යාඥයින්ගෙන් ද ඔහුට ලැබුණු ප්‍රතිචාරය යහපත් එකක් නොවේ. ඒ බව මනෝ විශ්ලෙෂණ න්‍යාය පදනම් කොට ගනිමින් දේශපාලන නායකත්වය අළලා ඔහු විසින් රචිත "world politics and personal insecurity " නැමැති ග්‍රන්ථය පිළිබඳව  "American political science review " හි ඒ පිළිබඳව  දැඩි විවේචන එල්ල වී තිබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මෙසේ මනෝ විශ්ලේෂණ න්‍යාය බදු විප්ලවීය න්‍යායික පර්යාලෝක දේශපාලන විද්‍යාවට හදුන්වා දීමට ලැස්වේල් උත්සාහ ගන්නා ලදි. මෙම නිසා මොහුගේ අධ්‍යයන තත්කාලීන දේශ්පාලන විද්‍යාව තුළ බෙහෙවින් විප්ලවකාරී ඒවා ලෙස සැලකිණ.
සන්නිවේදන අධ්‍යයන විෂයෙහි ලැස්වෙල් විසින් දක්වන ලද දායකත්වයන් අතර මූලිකත්වයක් ගන්නේ ප්‍රචාරණයයි. ඔහු විසින් කරන ලද ප්‍රචාරණය පිළිබඳ සමාජ විද්‍යාත්මක පර්යේෂණ සන්නිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ධ වුණු මූලික හා ඉතා වැදගත් අධ්‍යයනයක් ලෙස සලකනු ලබයි. ලැස්වෙල් විසින් ප්‍රචාරණය පිලිබදව පළමු වරට අවධානය යොමු කරන ලද්දේ සිය ආචාර්යය උපාධිය සදහා පර්යේෂණ සිදු කළ කාලවකවානුවේදීය. එහිදී ඔහු පළමු ලෝක යුද්ධය පැවතුණු දෙපාර්ශවය විසින්ම භාවිතා කරන ලද ප්‍රචාරණ ක්‍රමෝපාය පිළිබඳව විමර්ශනය කරන ලදි. එහිදී ඔහු ඵලදායී පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ  සිය අවධානය යොමු කරන ලදි. මේ අධ්‍යයනය ප්‍රමුඛ සංකල්ප පිලිබද අර්ථ නිරූපන, ප්‍රචාරණ ක්‍රමෝපාය වර්ගීකරණය හා එකී ක්‍රමෝපායවල බලපෑම ආදිය පිළිබඳ සවිස්තර වාර්ථාවක් සකස් කරන ලදි. ඔහුට මෙම පර්යේෂණයේ දී අන්තර්ගත අධ්‍යයනය වැදගත් සන්නිවේදන පර්යේෂණ මෙවලමක් ලෙස සංවර්ධනය කිරීමට හැකි විය. අන්තර්ගත අධ්‍යයනය ලෙස හදුන්වන්නේ සන්නිවේදන සංදේශ අන්තර්ගතය වර්ග කොට අරමුණු කරන ලද විවිධ විචල්‍යයන් ඒ අනුව නිර්ණය කිරීමේ ගවේෂණ  මාර්ගයයි.
ලැස්වෙල් චිකාගෝ විශ්ව විද්‍යාලයෙහි කටයුතු කරන කාලයේ දී එහි ප්‍රචාරණය හා මහජන මතය පිළිබඳ පාඨමාලා ඇතුළුව පාඨමාලා ‍රැසක් ආරම්භ කරන ලදි.ඒවා ඔහු දේශපාලන විද්‍යාවට සම්බන්ධ කොට ආරම්භ කරනු ලැබුව ද සැබවින්ම එම පාඨමාලා සන්නිවේදන විෂය ක්ෂේත්‍රයට අදාළ ඒවා විය. නමුත් එම කාල වකවානුවෙහි එනම් 1920-30 අතර කාලයේ "සන්නිවේදනය" යන නම භාවිතා නොකරන ලදි. චිකාගෝ සරසවියෙහි වසර 17ක සේවයෙන් පසුව ඔහු ඉන් ඉවත්වී අර්ධකාලීන කථිකාචාර්යවරයකු ලෙස යේල් විශ්ව විද්‍යාලයට එක් විය. දෙවන ලෝක යුද්ධය ඇති වීමත් සමඟ ලැස්වෙල් ඇමරිකානු කොංග්‍රස් පුස්තකාලයෙහි අධ්‍යයන කටයුතු සදහා වන පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස පත් කරන ලදි. එය ඔහුගේ පර්යේෂණ කටයුතු පුලුල් කිරීමට හේතු විය. ප්‍රචාරණය පිලිබදව පුලුල් පර්යේෂණ ආරම්භ කරන ලද්දේ ද මෙම කාලයේදීය. ඒ සදහා ඔහුට මූල්‍ය ප්‍රතිපාදන "රොකෆෙලර් පදනම" මගින් සපයන ලදි. 1939 සැප්තැම්බර් සිට 1940 ජුනි දක්වා මාසයක් පාසා පැවැත්වුණු මෙම සන්නිවේදන සම්මන්ත්‍රණ තුළ ලැස්වෙල් ඉතා ප්‍රබල කාර්ය භාරයක් ඉ‍ටු කරන ලදි. මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වූයේ යුධ පසුබිම තුල රජයට සන්නිවේදනය කල හැකි ආකාරය පෙන්වා දීමය. එහිදී සන්නිවේදන බලපෑම පිළිබඳ ක්ෂේත්‍රය වෙත මෙම සම්මන්ත්‍රණ සාකච්ඡා වාර යොමු කරවීමට ලැස්වෙල්ට අවස්ථාව ලබිණි.මෙම සම්මන්ත්‍රණය සන්නිවේදන අධ්‍යයන සදහා සුවිශේෂී වන්නේ ලැස්වෙල්ගේ සන්නිවේදන ආකෘතිය තවදුරටත් සංවර්ධනය වන්නේ මෙහිදී වීම නිසාය.
•          කවුරුන් විසින්?
•          කා හට?
•          කවර නාලිකාවකින්?
•          කවර බලපෑමක් සදහා කියන්නෙද? යනු එම ආකෘතියයි
තවද මෙම සම්මන්ත්‍රණය තුළින් සන්නිවේදනය පිළිබඳ උනන්දුවක් ඇති විද්වතුන් ඒකරාශී කරන ලදි. එසේම මෙම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කරන ලද කරුණු සන්නිවේදනය අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස තාර්කිකව විශද කළ කෘතියක් විය. සන්නිවේදන විෂය ක්ෂේත්‍රය ආරම්භ කිරීමෙහිලා "රොකෆෙලර් පදනම"හා ජෝන් මාර්ෂල් අතින් විශාල කාර්යයභාරයක් සිදු වූ බව සඳහන් කළ යුතුය. ජෝන් මාර්ෂල් යනු රොකෆෙලර් සම්මන්ත්‍රණය සංවිධානය කළ පුද්ගලයාය. මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට පෙර සන්නිවේදන පර්යේෂණ යන වචන පවා භාවිතයේ නොතිබුණු අතර 1939 දී එම සම්මන්ත්‍රණයට සහභාගී වන විද්වතුන් වෙත මාර්ෂල් විසින් ආරාධනා කොට යවන ලද ලිපිවල පළමු වරට "සන්නිවේදනය" යන වචනය භාවිත කර තිබූ අතර ඉන් පසුව මෙම නව විෂය සඳහා එම නම භාවිතයට ගන්නා ලදි.රොකෆෙලර් සම්මන්ත්‍රණය තුල ලැස්වෙල්ගේ ශ්‍රාස්ත්‍රීය දායකත්වය තවත් ආකාරයකට ප්‍රකට විය. ඒ සන්නිවේදනයේ කාර්යය සම්බන්ධයෙනි. ලැස්වෙල්ට අනුව සන්නිවේදන කාර්යය පහත ආකාර වේ.
1.      පරිසර ආවේක්ෂණය 
2.      පරිසරයට ප්‍රතිචාර දැක්වීම සදහා සමාජයේ කොටස් එකිනෙකට සම්බන්ධ කිරීම
3.      එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සමාජ උරුමය ගෙන යාම
දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙහි ලැස්වේල් සහ කැසේ යුද්ද වි පන කාර්යාලයෙහි උපදේශක වරුන් ලෙස කටයුතු කරන ලදි. ‍රැල්ෆ් කැසේ ලැස්වෙල්ගේ ප්‍රචාරණය පිළිබඳ අධ්‍යයන පෘථූල කිරීමෙහිලා කැපවී ක්‍රියා කළ අයෙකි. එම නිසාම ඔවුන් දෙදෙනාටම මෙසේ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම නිසා ප්‍රචාරණ විශ්ලේෂණය ප්‍රවර්ධනය විය.එම ප්‍රවර්ධනය සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ විල්බර් ශ්‍රාම්ගේ දෘෂ්ටිය සංවර්ධනයට ද හේතු විය.
ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි යුද්ධය, විප්ලවය හා සාමය පිලිබද පුවර් ආයතනයේ පර්යේෂණ ව්‍යාපෘතියක් ද මෙහෙයවූ අතර එම ව්‍යාපෘතියට ආණ්ඩු සහ දේශපාලන නායකයන් පිළිබඳ අධ්‍යයන, ආයතනික අධ්‍යයන හා පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය ආදිය අන්තර්ගත විය. මෙහිදී පුවත්පත් අන්තර්ගත විශ්ලේෂණය සෘජු ලෙසම සන්නිවේදනය කේන්ද්‍රගතව සිදු කරන ලද්දකි. සන්නිවේදන අධ්‍යයනයෙහි පීතෘවරයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන විල්බර් ශ්‍රාම් ද ලැස්වෙල් හා සමකාලීනයෙකි. ලැස්වෙල් හා ශ්‍රාම් 1954-55 අතර කාලයේ පළමු වරට දෙදෙනා මුන ගැසුණු අතර එම අවස්ථාව රොජර්ස් මෙසේ දක්වා ඇත
" ලැස්වේල් ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි චර්යාවේද අධ්‍යයනය පිළිබඳ මධ්‍යස්ථානයෙහි ශ්‍රාස්ත්‍රධාරියකුව සිටි වකවානුවෙහි එක්තරා දිනයකදී ශ්‍රාම් ලැස්වෙල් හමුවීමට පැමිණියේය. ඒ ශ්‍රාම් සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට පත්වී ආ අලුතය, ශ්‍රාම්  ලැස්වේල් සොයා ආවේ. ලැස්වේල් සමඟ දත්ත විශ්ලේෂණ ගැටලුවක් සාකච්ඡා කිරීමේ අරමුණනි. පස්වරු 02.00 කට පමණ ලැස්වෙල්ගේ අධ්‍යයනාගාරයට පැමිණි ශ්‍රාම්ට ඔහුගේ දත්ත මෙහෙයවාලිය හැකි වෙසෙසින් සංවර්ධිත විශ්ලේෂණ මාර්ගයක් ලැස්වේල් පෙන්වා දුන්නේය. අදාළ දත්ත අර්ථ නිරූපනය කිරීමට අදාළව ඔවුන් දෙදෙනා අතර ඇරඹුණු  සාකච්ඡාව නිමවන විට වේලාව රාත්‍රී 08.00 ලෙස සටහන්ව ශාස්ත්‍රීය ගැටලු හා පොර බැදීමේදී ලැස්වෙල්ගේ මනස ක්‍රියා කළ ආකාරය ද එයින් හෙළි වෙයි." ලෝක යුධ සමයේදී ලැස්වෙල් විසින් කරන ලද සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට අවශ්‍යය අඩිතාලමක් සේ සැලකිය හැකිය.අද වන විට ප්‍රචාරණය යන න්‍යාය වෙසෙසින් එය මුල් විග්‍රහය කාලීන අගයෙන් අඩු වූවක් බව විද්වතුන් තර්ක කරන නමුත් එය එම න්‍යායෙහි මූලික අවස්ථාවක් බව සියලු දෙනා පිළිගත යුතුව ඇත. එය අද වන විට සංවර්ධනාත්මකව ප්‍රබල ලෙස භාවිත වීමෙන් එහි ඇති අගය මනාව සුවිශද වේ.
සන්නිවේදන අධ්‍යයනය විධිමත් විෂය පථයක් ඔස්සේ නව චින්තන ධාරාවක් ඒ වෙතට යොමු කොට එය සංවර්ධන මාවතක් කරා යොමු කිරීමෙහිලා ලැස්වේල් විසින් ස්වකීය පර්යේෂණ හා අධ්‍යයන මඟින් සන්නිවේදන අධ්‍යයන විෂයෙහි දක්වන ලද මෙහෙය අති විශාල වුවක්  බව අවසාන වශයෙන් සඳහන් කළ හැකිය.

“Understanding Media”

“Understanding Media” නැමැති ග්‍රන්ථය ජනසන්නිවේදන විෂය හදාරණ පාසල් ශිෂ්‍යන්ට වගේම ජනසන්නිවේදන විෂයෙන් උසස් අධ්‍යාපනයේ නිරත වන සියල්ලන...

දිනපතා විශේෂාංග