Tuesday, February 20, 2018

සන්නිවේදනයේ පුරෝගාමී චරිත

                     වෝල්ටර් ලිප්මන්
Image result for walter lippmann

වර්තමානයෙහි න්‍යායපත්‍රකරණය නමින් ප්‍රචලිත ක්‍රියාවලිය සංකල්පගත කිරීමෙහිලා අප්‍රතිහත කාර්යයභාරයක් ඉ‍ටු කළ විද්වතෙකු ලෙස වෝල්ටර් ලිප්මන් සන්නිවේදන අධ්‍යයන පිළිබඳ කතා කරන විට අමතක කළ නොහැකිය.ලිප්මන් හා ලැස්වෙල් යන දෙදෙනාම එක්ව කටයුතු කළ අතර ප්‍රචාරණය හා ජනමතය අළලා ලැස්වෙල් කරන ලද අධ්‍යයන වල දී ලිප්මන්ගෙන් ඒ සදහා විශාල දායකත්වයක් ලැබී තිබේ. හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍ර හැදෑරූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන්ම දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා ද අධ්‍යයන කටයුතු සිදු කොට එය අතර මග නවතා දමන ලදි. විශේෂයෙන්ම ඔහු ඉගැන්වීම් කටයුතු වල නියැලීමට රුචිකත්වයක් නොදක්වන ලදි. ශාස්ත්‍රාලීය පර්යේෂණ ක්‍රමවේද හෝ න්‍යායික පර්යාලෝක වලට අනුගත නොවෙමින් ක්‍රියා කළ  ඔහු නිදහස් චින්තනයකින් යුතුව කටයුතු කළ අයෙකි. ඔහු පුවත්පත් වලට ලිපි සැපයීමට දැඩි කැමත්තක් දැක්වූ අතර ඔහුගේ නිදහස් චින්තනය තුළින් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය අභිවර්ධනයෙහිලා විශාල මෙහෙයක් කිරීමට එය වෙසෙසින් බලපාන්නට ඇත. මන්දයත් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය උදෙසා ඔහුගේ රචනා බෙහෙවින් වැදගත් වූ හෙයිනි. ඔහුගේ " මහජන මතය " නැමැති කෘතිය සන්නිවේදන අධ්‍යයන සඳහා  වැදගත් වූ කෘතියක් ලෙස විද්වතුන්ගේ ද සම්භාවනාවට පාත්‍ර වේ.
මුලදී ඔහු බොස්ටන්හි සමාජවාදී පුවත්පතක සේවය කළ අතර ඉන් අනතුරුව new Republic නැමැති ශ්‍රාස්ත්‍රීය සඟරාවෙහි කර්තෘ ධූරයට ද පත් විය. ඉන් පසුව 1921 දී නිව්යෝක්හි “New York " නම් පුවත්පතට සම්බන්ද වූ ඔහු එහි කර්තෘ වාක්‍ය ලියන ලදි. ඉන් පසු ලිප්වින් ගතානුගතික නැඹුරුවකින් යුත් "New York Herald Tribune" පුවත්පතට සම්බන්ධ වූ අතර එහි දී ඔහු "Today and Tomorrow" නමින් තීරු ලිපියක් සතියකට සිවු වතාවක් බැගින් රචනා කළ අතර ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ එම ලිපි පෙළත් සමඟය. 1963 දී ඔහු "The Washington Post" පුවත් පතට සම්බන්ධ වී කටයුතු කරයි. ඔහුගේ නිදහස් මතවාදී චින්තනය ද මෙම පුවත්පත්වල ඔහු විසින් පල කරන ලද ලිපි මඟින් තහවුරු විය. දේශපාලන සංසිද්ධීන් අරබයා ඔහු විවිධ ලිපි පල කළ අතර ඒවා අපක්ෂපාත බවින් යුක්ත ඒවා වීම නිසා පාඨකයින් අතර අතිශයින් ජනප්‍රිය විය. මෙම කරුණු නිසාම ඇමරිකාව තුළ 20 වන සියවසේ බිහි වූ සුප්‍රසිද්ධ හා විශිෂ්ටතම පුවත්පත් කලාවේදියා ලෙස ද ඔහු ඉතිහාස ගතව ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රචාරණයේ කාර්යයභාරය පිළිබඳ මහජන අවබෝධය ඇති කිරීමෙහිලා ලිප්මන් විසින් රචනා කරන ලද "Public Opinion" නම් වූ කෘතිය අතිශයින් වැදගත් විය. මහජන මතය හැඩ ගැස්වීම සදහා මුඛ්‍ය සාධකයක් ලෙස ලිප්මන් මෙහිදී හදුනා ගත්තේ "Stereotypes" එය යථාර්තය සරල භාවයට ගෙන එනු ලබන කේතයකි. එවිට සන්දේශ මූලයට අවශේෂ ජනයා වෙත එය පහසුවෙන් සන්නිවේදනය කළ හැකිය.
සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි අභිවර්ධනය අරභයා ලිප්මන් විසින් දක්වන ලද දායකත්වය විශද කරන්නාවූ තවත් එක් සුවිශේෂී පැතිකඩක් ලෙස ඔහු විසින් හදුන්වා දුන් "Agenda Setting" "න්‍යායපත්‍ර සැලසුම් කරණය" පෙන්වා දිය හැකිය. සැබෑ ලෝකයේ පවතින ප්‍රතිරූප හා එකී සංසිද්ධීන් පිළිබඳ  අපගේ මනස තුල පවතින ප්‍රතිරූප අතර සහ සම්බන්ධය ගොඩ නැගීමට ජනමාධ්‍ය සෘජු ලෙස බලපෑම් කරන බව ඔහු මෙමගින් පෙන්වා දෙන ලදි. මෙය පසුකාලීනව දේශපාලන විද්‍යාඥයකු වන බර්නාඩ් කෝනන් විසින් තව දුරටත් සංවර්ධනය කරන ලදි.
මෙම "න්‍යායපත්‍ර සැලසුම් කරණය" ක්‍රියාවලියට ප්‍රධාන සංචරක 03ක් ඇතුළත් වෙයි.
·         මාධ්‍ය න්‍යායපත්‍ර කරණය
·         මහජන න්‍යායපත්‍ර කරණය
·         ප්‍රතිපත්ති න්‍යායපත්‍ර කරණය
මෙම න්‍යායපත්‍ර කරණ සංචරක එකිනෙකට සහසම්බන්ධ වූ ප්‍රතික්‍රියාවක් දක්වනු ලබයි. එනම් මාධ්‍ය න්‍යායපත්‍ර කරණය මහජන න්‍යායපත්‍රකරණයට බලපෑම් කරන අතර ඒ බලපෑම ප්‍රවෘතිමය න්‍යායපත්‍ර කරණය සදහා තුඩු දෙනු ලබයි. මෙම ක්‍රියාවලිය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන මතය ක්‍රියාවට නැගෙන ආකාරය විවරණය කරනු ලබයි. මෙම න්‍යායපත්‍ර සැකසුම් කරණය සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඉහළ තලයකට ගෙන ඒමට දායක වූ දෙදෙනෙක් ලෙස මැක්කොම්බ් හා ෂෝ යන දෙදෙනා සඳහන් කළ හැකිය. මේ ආකාරයට ලිප්මන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය නව මාවතක් කරා යොමු කරලීම විෂයෙහි විශාල දායකත්වයක් සපයා තිබේ.





No comments:

Post a Comment

“Understanding Media”

“Understanding Media” නැමැති ග්‍රන්ථය ජනසන්නිවේදන විෂය හදාරණ පාසල් ශිෂ්‍යන්ට වගේම ජනසන්නිවේදන විෂයෙන් උසස් අධ්‍යාපනයේ නිරත වන සියල්ලන...

දිනපතා විශේෂාංග